Friday, August 31, 2012

මුල්කිරිගල පුංචි සීගිරිය.....


මුල්කිරිගල පුංචි සීගිරිය.....

 බෙලිඅත්ත - වීරකැටිය මාර්ග‍යේ මුල්කිරිගල හන්දි‍යෙන් මුල්කිරිගල - ම‍කේවල මාර්ග‍යේ සැතපුමක් පමණ ගිය විට මුල්කිරිගල විහාරයට ප්‍ර‍වේශ විය හැකි ය. වීරකැටිය ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාසයට අයත් වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්ගිරිගල, මුල්කිරිගල, මුහුදුගිරි, මුවතිටිගල, මුලාගිරිය යන අන්වර්ථ  නම්වලින් හැඳින්වෙන ලෙන් විහාර සංකීර්ණය පුංචි සීගිරිය නමින්ද ප්‍රචලිතව ඇත්තේ පර්වතයක් මත ඉදිව ඇති නිසා බව ඉතිහාසයේ සදහන් වේ. ක්‍රි.පූ. 2-3 සියවස්වලදී නිර්මාණය ඇරඹීයයි සිතන මෙහි නිර්මාතෘ පිළිබඳව විවිධ මත පවතී. ඇතැමෙකුට අනුව සද්ධාතිස්ස රජුන් මෙය කරවූ අතර, කාවන්තිස්ස රජු විසින් කරවූ මුහුදුගිරි විහාරය හෙවත් සමුද්‍රගිරි විහාරය මෙය බවටත් මත පවතිනවා. සද්ධාතිස්ස රජුන් දඩයමේ යනවිට හමු වූ වැද්දකු විසින් මේ ගල රජුට පෙන්වා මෙය විහාරයක් තැනීමට සුදුසුයයි කී බවද, “මූ කිව් ගල” යන ශබ්දයෙන් බිඳී පසුව මුල්කිරිගල වූ බව එක් කතාවෙක සඳහන්. මේ බව මුල්කිරිගල විහාරයේ ඇති එක් සිතුවමකද දැක්වෙනවා.
          එ‍මෙන් ම මෙම විහාරය හක්මණ උමංගල හා උමගකින් සම්බන්ධ බවත් නා ර‍ජෙකු විසින් නිර්මාණය කළ බවටත් ජනප්‍රවාද ‍වේ
මෙහි ඇති බුදුපිළිම හා ලෙන් විහාර දුටුගැමුණු, අග්බෝ, ධාතුසේන ආදී රජවරුන් විසින්ද, වළගම්බා රජුගේ අමාත්‍යයකු වූ  මුලව විසින්ද කලින් කල කරවන්නට ඇතැයි සැලකේ. පසු කාලයේ වල් වැදී පවතිනවිට යළි සොයාගෙන ප්‍රතිසංස්කරණය කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුන්ය. මෙහි ඇති බෝධීන් වහන්සේ සඟමිත් තෙරණිය ගෙන ආ බෝධින් වහන්සේගේ දෙතිස්ඵලරුහ බෝධීන් අතුරින් එකක් බවට ජනප්‍රවාදයේ පැවතියත් බෝධි වංශයේ මේ ගැන සඳහන් නොවේ.

ලන්දෙසි යුගයේදි සිරීපාදය සමග මෙය පටලවා ගත් කිතුණු භක්තික විදේශිකයන්, ආදම් සහ ඒවගේ සොහොන් මෙහි වේයයි සිතූ නිසා එකල මෙය ඔවුන් නිතර ආගිය තැනක් විය.  (සිරීපාදෙත් පටලව ගත්තු එකේ..) විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ආදම්යයි ලන්දේසීන් රැවටුණු අතර, ඔවුන් විසින් ලියන ලද පොත්වලද මේ බව දැක්වේ.


 මේ ලෙන් විහාර සංකීර්ණයට ලෙන් විහාර හතක් ඇතුළත්. මේ හැම ලෙනක්ම සුවිසල් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගෙන් සහ බොහෝ ගණනක් හිඳි/හිටි පිළිමවලින් යුක්තයි. අතිශයින් රමණීය බිතු සිතුවම් ද විශාල සංඛ්‍යාවක් දැකිය හැකියි.මෙම සිතුවම්  මහනුවර සම්ප්‍රදා‍යේ පහතරට ශෛලියේ සිතුවමින් අලංකාර කර ඇත. ගලෙහි ඉහළට නැගීමට පඩි 533ක් තිබෙනවා. බෝධීන් වහන්සේ ඇත්තේ මෙහි මුදුනෙයි.

පහතින්  දැක්වෙන්නේ මුලගිරි විහාරස්ථානයේ තවත්  බිතුසිතුවම් කිහිපයකි 












 පුරාතනයේ බොහෝ භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටි පුද බිමක්‌ යෑයි සැළකෙන මුල්ගිරිගල විහාරය අඩි 350 ක්‌ පමණ උස ගල් පර්වතයක්‌ ආශ්‍රිතව ගොඩනඟා ඇත. විහාරයේ මෙකී අපූර්ව ශෛලමය ආකෘතිය හේතුවෙන්ම ඊට ලැබෙන්නේ අනෙක්‌ කවර විහාරයකට වුවද නොලැබෙන ආකාරයේ අභිමානයකි. ප්‍රෙෘඪත්වයකි. මේ ආකාරයේ ලෙන් විහාරයක්‌ පිළිබඳ අන් කවර සඳහනක්‌ හෝ ඉතිහාසය පුරා අපට අසන්නට දකින්නට නැත.


      ලෙන් විහාරය පිහිටා ඇති ගල් පර්වතය විශාලය. එහි බිමෙහි සිට මුදුන්තලය දක්‌වාම විහිද යන්නා වූ ආකාරයට විහාර සංකීර්ණය දක්‌නට ඇත. එය සකස්‌ වී ඇත්තේ පහත මළුව, මැද මළුව, උඩ මළුව ලෙසය. පහත මාලයේ අති විශාල ශාලාවක්‌ හා ලෙන් විහාර දෙකකි. ලෙන් විහාර දෙකෙන් විශාල ලෙන් විහාරයේ දහඅට රියන්, සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ හා තවත් බුද්ධ ප්‍රතිමා වහන්සේ හතරක්‌ වැඩ සිටින්නේ, බොදුණු බැති සිත් පහන් කරවමිනි. මෙකී සැතපෙන බුද්ධ පිළිම වහන්සේ නෙළා ඇත්තේ දෑස්‌ අන්ධ භික්‍ෂුවක විසින් බව කියෑවේ. එහෙත් එකී නිර්මාණ කටයුත්තේ එතරම්ම අඩුපාඩුවක්‌ නැති බවක්‌ පෙනෙන්නේ බැතිබර බොදුණුවන් එය සුපිරිසිදුව වන්දනාමාන කරන අයුපහත මළුවේ සිට මැද මළුවට නඟින්නට ඇති පියගැටපෙළ පසු කරද්දී කටාරම් කෙටූ තවත් ලෙන් විහාරයක්‌ දක්‌නට ලැබේ. එහිදී ද දොළොස්‌ රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ හා බුද්ධ ප්‍රතිමාවක්‌ දක්‌නට ඇත. එමෙන්ම මැද මළුවෙහි ඇසතු බෝගස්‌ කිහිපයක්‌ ද දක්‌නට ලැබෙයි. පියගැට පෙළෙහි ඉහළට යද්දී තවත් විහාර දෙකක්‌ හමුවේ. ඒවා රජුන්ගේ විහාරය, පිරිනිවන් විහාරය ලෙසින් නම් කෙරේ. රජුන්ගේ විහාරය ලෙසින් නම් කෙරේ. රජුන්ගේ විහාරය කළ ද දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්‌ සහ හිටි පිළිම හතරක්‌ දක්‌නට ලැබේ. ඊට අමතරව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පූජා කරන ලද ඇත්දළ යුවළක්‌ ඇතුළු කෞතුක වස්‌තු කිහිපයක්‌ තැන්පත් කර ඇති බව සඳහන්ය. ඊළඟට හමුවන විහාර මන්දිරයන්හි ද ප්‍රතිමාවලින් අඩුවක්‌ නැත. අනතුරුව පියගැට පෙළ ඔස්‌සේ කඳු මුදුනට නැඟි විට හමුවන්නේ උඩමළුවයි. මෙය පුළුල් වපසරියක පිහිටි ඉඩකඩකි. මේ කොටස අඩි 65 ක්‌ පමණ විශ්කම්භයකින් යුතු පරිශ්‍රයකි. ඒ වටා ප්‍රාකාරයක්‌ ඉදිකර ඇති අතර අඩි අසූවක්‌ පමණ උස්‌ වූ අටපට්‌ටම් හැඩයකින් යුත් ස්‌ථූපයත් පැරැණි බෝධියත් පිහිටා ඇත්තේ එහිය.මෙහි මුදුනට නැගී කල තංගල්ලේ සිට හම්බන්තොට දක්වා මුහුදු තීරය අපූරුවට දිස්වේ.   

     මෙකී ඓතිහාසික වූත් අතිශය දනවන්නාවුත් මුල්ගිරි විහාරය සතු සංකීර්ණ ලක්‍ෂණයන් පෙර කීවාක්‌ මෙන් මෙරට කිසිදු තැනක දක්‌නට නොලැබේ. එය සාක්‍ෂාත් කරන්නේ මුල්ගිරිගල විහාරය වැඳ පුදා ගන්නට එහි ඓතිහාසික බව අත් විඳින්නට පැමිණෙන දේශීය වන්දනාකරුවන්ටත් වඩා විදේශීය සංචාරකයන්ය. මුල්ගිරිගල විහාරයෙහි චිත්‍ර එකී පිරිසගේ මෙන්ම ඉතිහාසඥයන්ගේ පවා අවධානයට යොමුව ඇත්තකි.


 මෙහි ආරම්භයේ සඳහන් කළාක්‌ මෙන් මුල්ගිරිගල විහාරය දකුණේ රුහුණු පුරවරයේ වන්දනාවේ යෙදෙන බොහෝ දෙනකුගේ අවධානයට පාත්‍ර වන බෞද්ධ සිද්ධස්‌ථානයකි. 

 දකුණු පළාතට ආවොත් මුල්ගිරිගල එන්න අමතක කරන්න එපා අපේ ගෙදර ඉදලත් පයින් යන දුර........


බලල විතරක් යන්න එපා අදහසක් දාලම යන්න...
     

Thursday, August 30, 2012

වැවුරුකන්නල බුදුරජ මහා විහාරස්ථානය

 වැවුරුකන්නල පුද බිම



වැවුරුකන්නල බුදුරජ මහා විහාරයේ ඉතිහාසය මහනුවර යුගයේ රාජාධිරාජසිංහ යුගය දක්‌වා දිවයයි. එම රජතුමාගේ මඩකුඹුර වාසල දේවියගේ පුතා වැවුරුකන්නල පිහිටි ඉපැරණි ගිමන්හලෙහි භික්‍ෂූන් වහන්සේ කෙනකු ලෙස වාසය කොට ඇත. මහනුවරින් දුර ප්‍රදේශයක එලෙස වාසය කොට ඇත්තේ ආරක්‍ෂාව සඳහාය. උන්වහන්සේ "රජකුමාර හිමි" ලෙස ද ප්‍රදේශයේ ජනතාව විසින් ආමන්ත්‍රණය කළහ. රජකුමාර හිමි බුරුමයෙන් මෙරට උපසම්පදාව රැගෙන ඒමට වැඩම කළ භික්‍ෂූන් වහන්සේලා සත් නමගෙන් එක්‌ නමක ලෙස සැලකෙති. මාතර නගරය පසුකරමින් හම්බන්තොට දෙසට කී.මී 15ක් දුර ගෙවා පැමිනිකල මුනගැසෙනා පුරවරය දික්වැල්ලයි.දික්වැල්ල නගරය පසුකර කී.මී 2ක් පමණ බෙලිඅත්ත දෙසට ගමන් කල විට නෙත් සිත් සනහාලන පියකරු හිදි පිලිමයක් ඔබ නෙත් අබියස පිලිබිබුවේ.
මිට වසර 250 කට පෙර සිoහල දේශය පාලනය කල රාජාධි රාජසිoහ රජ සමයේ නිර්මාණය වු "වැවුරුකන්නල" ඓතිහාසික පුජා භුමියකි. වැව-ඉවුරු-කොන්-හල යන සිවු වචන එක විමෙන් වැවුරුකන්නල යන නම ව්‍යහාරයට එකතු වි ඇතත් මෙම විහාරයට අතිතයේදී සුදස්සනා විහාරය ලෙස ප්‍රකටව පැවතුනි.
මෙම වෙහෙර බුදු ගෙවල් 3නකින් සමන්විත වන අතර පැරණිතම බුදුගෙය නිර්මාණය කොට ඇත්තේ 1870 වසරෙහිදිය.ඉපැරණි බුදුගෙය තුල ජාතක කතා හා බුද්ධ චරිතයේ ඇඹිමෙන් හා සිතුවමට නගා අලoකාර කර ඇත.බුදුන්වහන්සේගේ හා ශ්‍රාවක වහාන්සේලාගේ ධාතුන් හතලිස් නමක් වැඩ සිටින දාගැබ් වහන්සේ සහිත ඓතිහාසික වටිනා කමකින් යුතු විහාරස්ථානයකි ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසුව තැන්පත් කොට ඇත්තේද වැවුරුකන්නල බුදු රජමහා විහාරයේය. 1927 දී එය නිර්මාණය කිරීමෙන් පසුව මග්ගොන සිට විහාරස්‌ථානයට රැගෙනවිත් තිබේ. වැවුරුකන්නල බුදු රජ මහා විහාරය ලෙස අද මෙම විහාරය හඳුන්වන්නේ අසූ අට රියන් සමාධි බුදු පිළිම වහන්සේ නමක්‌ එහි ඉදිකොට ඇති නිසාවෙනි.

මාතර දිස්‌ත්‍රික්‌කයේ පිහිටි බැතිමතුන්ගේ නොමඳ වන්දනයට ලක්‌වූ බොදු පුදබිමක උරුමයක්‌ එලෙසින් වැවුරුකන්නලින්ද ප්‍රකට වෙයි.


 

වැවුරුකන්නල ඔරලෝසුව..

ගුරුත්ව බලයෙන් දුවන අරුම පුදුම ඔරලෝසුව



දික්වැල්ල වැවුරුකන්නල බුදුරජ මහා විහාරස්ථානය එහි ඇති සියක් රියන් බුද්ධ ප්‍රතිමාව නිසා ලෝක ප්‍රසිද්ධියට පත්වන විට, එහි කෞතුකාගාරයේ පිහිටුවා ඇති ශ්‍රී‍්‍ර ලංකාවේ විශාලතම යෝධ මහ ඔරලෝසුව ගෙනදී ඇත්තේ ඓතිහාසික වටිනාකමකි.

පිත්තල දැති රෝද, දැව කොටස් හා වානේ කේබල් යොදා
සකස්කර ඇති යෝධ මහ ඔරලෝසුව
1926 දී ඩබ්ලිව්. එලාරිස් ද සිල්වා මහතා විසින් මග්ගොන මඩමේ දී ස්ව නිර්මාණයක් ලෙස තනන ලද මෙරට විශාලතම මහ ඔරලෝසුව 1928 දී පූජ්‍ය බජ්ජම සිරිසද්ධාතිස්ස නාහිමියන් විසින් රුපියල් තුන්දහසකට (3000) ලබාගෙන ශ්‍රී වෛජයන්ත පුස්තකාලයේ මහජන ප්‍රදර්ශනයට සුදුසුසේ සවිකර ඇත.
පිත්තල දැති රෝද, දැව කොටස් හා වානේ කේබල් යොදා නිර්මාණය කරන ලද මේ විශ්මිත නිර්මාණයේ දැති රෝද ක්‍රියාත්මක වන්නේ වැරගැන්වීම තුළිනි.
(වයින් දැමීම) වැරගැන්වීමෙන් ක්‍රියාත්මක කරන ඔරලෝසුවල දැති රෝද හා කටු ක්‍රියාත්මක වීම දුන්නක් මඟින් සිදුකළ ද මේ විශ්මිත ඔරලෝසුවේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ ගුªරුත්වාකර්ෂණ බලයෙනි.
ඒ සඳහා යොදාගෙන ඇත්තේ ඔරලෝසුවේ සිට අඩි 20 ක් පමණ පහළට කේබල් ආධාරයෙන් එල්ලන ලද පිත්තල සිලින්ඩර් දෙකකි. මේ එක් සිලින්ඩරයක බර රාත්තල් 112 කි.
ඔරලෝසුවේ දෙපස සවිකොට ඇති සිලින්ඩර දෙකෙන් එක් සිලින්ඩරයක් ඔරලෝසු යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ද, අනෙක් සිලින්ඩරය වේලාව සටහන් වන සීනුව නාදවීම සඳහා ද යොදාගෙන තිබීම විශේෂත්වයකි.
මේ ඔරලෝසුවේ දක්නට ලැබෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ වේලාව සටහන් කරන සීනුව ඔරලෝසුවේ සිට අඩි 150 ක් තරම් දුරින් දාගැබ සමීපයේ යකඩ කණු හතරක් මත තැනූ අට්ටාලයක සවිකර තිබීමයි. සීනුව නාදවීමට අවශ්‍ය සිලින්ඩර බලය කේබලයක් ආධාරයෙන් ලබාදී ඇත.
අඩි හතක් (07) ක් උඩ අඩි හයක් දිග හා අඩි හතරක් (04) පළල යන්ත්‍රයට සවිකර ඇති ඔරලෝසු මුහුණත් දෙකක් ද වන අතර යන්ත්‍රයටම සවිකර ඇති ඔරලෝසු මුහුණත අඟල් හයක (06) විෂ්කම්භයෙන් යුතුවද යන්ත්‍රයට නුදුරින් එළිමහනේ සිටින ජනතාවට වේලාව දැකගත හැකිවන සේ බිත්තියේ සවිකර ඇති ඔරලෝසු මුහුණත අඟල් තිහක (30) විෂ්කම්භයකින් යුතුවද තනා ඇත. මෙහි පැය හා අඩ පැය සටහන්වීමත් සමඟ සීනුව මඟින් දිවා රාත්‍රී දෙකේදීම දාගැබ් වහන්සේට ශබ්ද පූජා නිරායාසයෙන්ම පැවැත්වීම මෙහි ඇති විශේෂත්වයකි.
මේ තියෙන්නෙ ඔරලෝසුව, කැබිනට් එකක වගේ ආවරනයක තියෙන්නෙ. ප්‍රධාන මුහුනතෙ කටු කරකවන්නෙ කම්බි මගින් විම හරිම අපූරුයි.

නිවාඩු  පාඩුවේ වැවුරුකන්නල ඇවිත් යන්න අමතක කරන්නෙපා......

කොමන්ටුවක් දාලම යන්න.....

වෙහෙරහේන රාජමහා විහාරස්ථානය .....

වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය....


මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය මේ වනවිට ලෝකයේ තිබෙන උමං විහාරයක් සහිත විශාලතම බෞද්ධ සිද්ධස්ථානයයි.මෙම විහාරස්ථානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වනුයේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්ධර පරවාහැර රේවත නාහිමිපාණන්වහ්නසේයි. රේවත නාහිමි පාණන් වහන්සේ වෙහෙරහේනට වැඩම වන විට වෙහෙරහේන සතුව සතුව තිබුනේ අක්කර භාගයක් තරම් වූ බිම් ප්‍රමාණයකි. උන්වහන්සේ වෙහෙරහේනට ආවේ හිස් අතිනි ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් ආකාරයට උන්වහන්සේ මෙහි වැඩම වන විට රැගෙන ආවේ බ්ලැන්කේට්ටුවත් පැදුරත් පාත්‍රයත් පමණි මෙහි වැඩම කළ උන්වහන්සේ දකින්නට ලැබුනේ දස අතම කැලෑව පමණි කැලෑව හෙලි පෙහෙලි කළ උනවහන්සේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කටු මැටියෙන් කුඩා ආරාමයක් තනවා ගත්හ එහි කාලය ගත කළ උන්වහන්සේ වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය නිර්මාණයකිරීමේ කටයුතු කර ගෙන යෑම ආරම්භ කරන ලදි මේ සඳහා උන්වහන්සේට අදහසක් පහල වූයේ එවකට බෞද්ධ පුනරුදය වෙනුවෙන් විශාල මෙහෙයක් කළ අනගාරික ධර්මපාල තුමන් සමග දෙස් විදෙස්හි ධර්මප්‍රචාරක කටයුතු වල නිරතව සිට්ද්දී ලබන ලද අත්දැකිම් වලිනි ඒ අනුව වර්ෂ 1939 මාර්තු මස 05 වන දින අනගාරික ධර්මපාල තුමාගේ පින්බර සුරතින් මුල්ගල් තබා මෙහි නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදි . සාරිපුත්‍ර නම් ප්‍රතිමා නෙලීමේ සම්ප්‍රදාය අනුව මෙහි පිළිම වහන්සේ නිර්මාණය කර තිබෙන අතර පන්සිය පනස් ජාතක පොතේ සඳහන් වන උම්මග්ග ජාතකයේ එන උමංදාව සිහි ගන්වමින් උමං විහාරය නිර්මාණය තර තිබේ උමං විහාරයේ හා පිළිම වහන්සේගේ ආරක්ෂාවට තනන ලද නවමහල් විහාර මන්දිරයේ පන්සිය පනස් ජාතක කතා චිත්‍රයට නගා තිබේ මෙසේ රේවත නාහිමිපාණන් වහන්සේ විසින් ඉදි කිරිම් කටයුතු කරගෙන ගියහ නමුත් උන්වහන්සේට මෙම නිර්මාණයේ කටයුතු අවසන් කරගැනිමට නෙහැකිවිය පිළිම වහන්සෙගේත් නවමහල් විහර මන්දිරයේත් මහල් දෙකක කටයුතු අවසන් කළ උන්වහ්නසේ 1968 දී තරමක් රොගාතූර විය මෙම නිසා මෙහි කටයුතු අතර මඟ නවතා දමන ලදි මෙසේ රෝගාතූර වූ උන්වහ්සේ 1968 අගොස්තු මස 13 වන දින අපවත් වි වදාලහ.






ඔබ යා යුතුම විහාරස්ථානයක්.මාතර වෙහෙරහේන.


අදහසක් දාලම යන්න ............

ගාලු කොටුව ..

ගාලු කොටුවෙහි ඇති ප්‍රදීපාගාරය




ගාලු  කොටුව ප්‍රධාන මාර්ගයට දිස්වන අයුරු


දකුණුලකේ අගනගරය ලෙස ගාල්ල හැදින්වියහැක.මෙහි වැදගත් ස්ථානයක් වන්නේ ගාලු කොටු පවුරයි.ගාලු කොටුව යනු ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික විතැන් කරමින් පවතී. ලොක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය .එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි.පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී.එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි.ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් උක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.එය ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස හදුන්වයි.ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි.ගාලු කොටුව ශ්‍රීලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය ශ්‍රීලංකාවට ඇති වාස්තුවිද්යාත්මක සහ පුරාවිද්යාත්මක දායාදයකි.

ආරුකුවකින් ඇතුල් වූ විට උමගක් තුලින් ගොස් පඩිපෙලක් නැග බලකොටුවට ඇතුල් විය යුතුය. පෘතුගීසින් ගෙන් ගාලු නගරය ලන්දේසි අත්පත් කර ගැනීමට පෙර එය පෘතුගීසින් ගේ ප්‍රධාන පරිපාලන නගරය විය. ඔවුන් 1588 දී බලකොටුව නිර්මාණය කිරීමට පටන් ගත් බව ඉතිහාසයේ සඳහන් වුවද පෘතුගීසින් විසින් ඉදිකළ බව කියන සාක්ෂි කිසිවක් ඉතිරි වී නැත. ගාලු කොටුව තුල ගාල්ල පැරණි නගරය පවතින අතර එම පවුර මගින් නගරයට ආරක්ෂාව සැලසුබව විදහා පායි. 17 ත් වන ශත වර්ෂයේ බලකොටු නිර්මාණය කිරීමේ තාක්ෂණය සඳහා ලෝකයේ පවතින ප්‍රමුඛ උදාහරණය ලෙස යුනෙස්කෝව ශ්‍රී ලංකාවේ ගාලු කොටුව නම් කර ඇති අතර එය අපට අභිමානයකි. 20 වන ශත වර්ෂය ආරම්භයේදී ඉංග්‍රීසින් විසින් ඉදිකළ ප්‍රදීපාගාරය හා අනිකුත් ඉංග්‍රීසි ගෘහ නිර්මාණය අනුව ඉදිකළ ගොඩනැගිලි ගාලු කොටුවේ සුන්දරත්වය ඔපවත් කරයි.

 

නමුත් කණගාටුවට පත්විය යුතු දේ අතර  සමහර ශ්‍රී ලංකීකයන් විසින් තමන්ගේ නම් ලියා මෙම වටිනා පුරාවස්තුව කෙලෙසා තැබීම ප්‍රධාන තැනක් ගත්තේය. එලෙසම සමහර ජෝඩු අශිලකාරී ලෙස හැසිරීමට ගාලු කොටුව තෝරාගෙන සිටීම පුදුමය දනවන කරුණක් විය.

මෙහි දැක්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයයි.මෙය ගාලු කොටුව ඉදිරිපසින් පිහිටා ඇත.

                                                                                                                                                                                                                                       සමනල පාලමත් සමග ඈතින් දිස්වන්නේ ගාලු කොටු පවුරයි 


ගාලුකොටුව  ගල් බැම්මේ ......
ඈත පෙනෙන ක්ෂිතිජ ඉමේ .......
පාට සරුන්ගලයක හැඩ බලාන ඉන්න .....
පාලු දැනෙන හැන්දෑවක ඔබ ලග ඉන්න............ගාලුකොටුවෙ එන්න.......