Tuesday, December 11, 2012

හුම්මානය..........


   
    
හුම්මානය 


               දකුණු වෙරලේ පිහිටි ස්වභාව ධර්මයා විසින් කරන ලද අපුරු නිර්මාණයකි. හුම්මානයට දකුනේ බස් වහරෙන් “ කරිජ්ජමාලාව ” කියා ද හදුන්වයි. මාතරහම්බන්තොට මාර්ගයේ 184 කි.මි කනුව අයත් වන්නේ නාකුළුගමුවටයි. නාකුළුගමුවෙන් හැරී වෙරල තීරයට පිවිසිමට ධාන මාර්ගයෙන්හැරී කි.මි1.5 පමන දුර ගෙවන විට කුඩා වැල්ල - වැලි කැලේ වෙරළ තීරයේ කදු ගැටයක් මත මෙම අපුරු ජල මල ස්ථානගතවේ. මුහුදු රැල්ලේ පීඩනයත් සමග විහිදී යාමට පෙර එක දිගට “ හුම්” ලෙසින් මුමනන හඩක් පිට කරනා බැවින් හුම්-ගාන ය හුම්මානය වු බවකි. අපේ රටේ ඇති මෙම හුම්මානය ලෝකයේ වෙනත් රටවල ඇති හුම්මාන හය අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා බව වාර්තා වේ.[තහවුරු​ කරන්න] නිරිත දිග මෝසම් වාරකන් සමයේ මුහුදු රල වේගවත්වු විට හුම්මානය වඩාත් ක්‍රීයාශීලි වි අඩි 40-50 පමන උසට අහස දෙසට ජල මලක්ව විහිදී යන අයුරු දක්නට ලැබීම අසිරියකි. හුම්මානය අසලදී කෑ ගැසීම, හූ කීම හුම් හඩට සමාන ශබ්ද නැගීම අත්පුඩි තැලීම හුම්මානයේ ක්‍රීයාකාරිත්වය ඉහල නැංවීමට හේතුවන බව ගැමියන් අතර මතයක් පවතී.

 සන්ගනනයන්ට අනුව ලෝකයේ හුම්මාන වර්‍ග 5ක් පමණ තිබෙන බව සඳහන් වූවත් නවතම  විදෙස් වාර්තාවලට අනුව  ලෝකයේ හුම්මාන 07 ක් පමණ තිබෙන බව වාර්තා වේ.ජපානය, තායිලන්තය, හවායි දූපත්, ඔහාඩ්, ඇමරිකා එක්සත් ජනපදය හා ශී‍්‍ර ලංකාව යන රටවල ඒවා පිහිටා තිබේ. ශී‍්‍ර ලංකාවේ හුම්මාන 2 ක් පිහිටා තිබෙන අතර එයින් එකක් ගාල්ල දිස්ති‍්‍රක්කයේ උණවටුන වෙරළ තීරයේත්, අනෙක හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ කුඩාවැල්ල වෙරළ තීරයේත් පිහිටා තිබේ.මෙහිදී ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ තංගල්ල කුඩාවැල්ල මුහුදු තීරයට යාබදව ඇති හුම්මානයයි.

       හුම්මානයේ ක්‍රියාවලිය පුදුම සහගතය.මෙහිදී සිදුවන්නේ  මුහුදේ ජල තරංග වේගයෙන් හුම්මානය තුලට ඇතුළුවී එහි ඇති කළුගල් වලින් ස්වභාවිකව සෑදුන සිදුරකින් ඉහලට විදීමයි.පැති දෙකකින් වේගයෙන් පැමිණෙන ජල තරංග දෙකක් හුම්මානය අසලදී එකිනෙක ගැටේ.මෙහිදී ඇතිවන පීඩනය හේතුවෙන් වේගවත් ජලපහරක් හුම්මානය තුලට ඇතුල් වේ.මීටර 2ක් පමණ දිග මීටර භාගයක් පමණ පළල මීටර 25ක් පමණ ගැඹුරු ස්වභාවිකව සෑදුන සිදුරකින් අඩි 100-150 පමණ ඉහලට දර්ශනීය අකාරයෙන් විහිදී යයි.ජලය ඉහල යනවාත් සමගම හුම්... හුම් අකාරයේ ශබ්දයක් නිකුත් වේ.ඇතැම් විට මෙයට හුම්මානය යනුවෙන් නම පටබැදීමට හුම්... හුම් යන ශබ්දය හේතුවන්නට ඇත.මෙම ශබ්දය මීටර 500-600 පමණ දුරකට විහිදී යයි.අතීතයේ මීට වඩා හුම්මානයේ ක්‍රියාකාරිත්වයක් තිබෙන්නට ඇත.දැනට ඇති තත්වයට හේතුව වශයෙන් හැදින්විය හැක්කේ ඛාදනයට ලක්වීමයි.එය ස්වභාවික සිදුවීමකි.

ගූගල් සිතියම


        හුම්මානයේ ක්‍රියාකාරිත්වය හොඳින්ම සිදුවන්නේ මැයි සිට සැප්තැම්බර් යන කාල වකවානුවේදීය. නිරිතදිග මෝසමත්  සමග මෙහි ක්‍රියාකාරිත්වය හොදින් දැකගත හැකිය.මෙය නැරබීමට සුදුසුම කාලය මැයි සිට සැප්තැම්බර් කාලය වන අතර ඔබ මෙය නැරබීමට පැමිණිය යුත්තේ මෙම කාලයේය.



  
       හුම්මානය සැබවින්ම සුන්දරය එමෙන්ම බියකරුය විටෙක නෙත් වශීකරන සුළුය.තවත් විටෙක අදහාගත නොහැකිය.මේ සියලු දේ අත්විදීමටනම් අනිවාර්යයෙන් හුම්මානය නැරබීමට යා යුතුය.මෙහි සුන්දරත්වය විදිනවාත් සමගම මතක තබාගතයුතු කරුණක් ඇත.මෙම ප්‍රදේශය සුන්දර බව සැබෑය.නමුත් අනතුරුදායක බහුල ප්‍රදේශයකි.මෙහි සිදු වූ ජිවිත අනතුරු ගණන බොහෝය.ඒ හේතුවෙන් මෙය නැරබීමෙදී ඉතා සැලකිලිමත්ව නැරබිය යුතුය.ඔබේ ආරක්ෂාව ඔබම බලාගත යුතුය.සුන්දර හුම්මානය ආරක්ෂාකාරීව නරඹා ඒ අවට පරිසර දූෂණය නොවන අකාරයෙන් පවත්වාගෙන යාමට ඔබගේ සහය අත්‍යවශ්‍යය.

   
      

     

Sunday, September 2, 2012

සිතුල්පව්ව රජමහා විහාරය....

සිතුල්පව්ව  චෛත්‍ය  රාජයාණන්
 සිතුල්පව්ව රජමහා විහාරය....
    දකුණු පළාතේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති ඓතිහාසික සහ පූජනීය ස්‌ථානයක්‌ වූ සිතුල්පව්ව සිල්වත් භික්‍ෂූන් වහන්සේගේ මෙන්ම රහතන් වහන්සේගේත් පරිභෝජනයට ලක්‌ වූ පුණ්‍ය භූමියක්‌ව පැවතිණි. මේ ශුද්ධ භූමිය තිස්‌සමහාරාමයටත්, කතරගම් නුවරටත් අතර කටගමුව ගම් සමීපයෙහි පිහිටා ඇත. කතරගම වන්දනාවේ යන බැතිමතුන්ට තිස්‌සමහාරාම නගරයේ සිට කිරින්ද පාරේ යෝධකණ්‌ඩිය වැව පසු කළ විට වම්පසින් පාරක්‌ හමුවේ. මෙම පාරෙහි කිලෝමීටර් 25 ක්‌ පමණ ගිය තැන සිතුල්පව්ව පින්බිම හමුවේ. කතරගම සිට පැමිණීමේදී කිලෝමීටර් 15 ක්‌ දකුණු දෙසින් යාල අභය භූමිය මධ්‍යයේ පිහිටා ඇත. නිදැල්ලේ ඔබ මොබ යන අනේක විධ වන සතුන්ගෙන් ගහන වූද, කිසිදු උපද්‍රවයකින් තොරව මේ පින්බිම කරා යැමට මාර්ග පද්ධතිය මැනවින් සකස්‌ කොට ඇත.



සිත් ප්‍රබෝධ කොට සතුට , සැනසිල්ල මානසික සුවය සහ ගුප්ත බලයකින් මෙත් සිත් ඇද ගැනීමට සමත් නිසා චිත්ත ආලපබ්බත, සිත් අලවන පර්වතයක්‌ චිත්තල පබ්බත පවත සිතුල්පව්ව වන නම තැබෙන්නට ඇත.

සිතුල්පව්ව සිද්ධස්‌ථානයට වැඩි වශයෙන් වන්දනා මාන සඳහා පිරිස්‌ ඇදී එන්නේ පොසොන් පොහොයටයි. දාන, ශීල, භාවනා වැඩසටහන්, දන්සල් ආදියෙන් සමන්විත මේ සමය සැදැහැවතුන්ගෙන් පිරී පවතී. සිතුල්පව්ව පින් බිමෙහි වර්තමාන සංඝාවාසයට ඉදිරියෙන් වූ ප්‍රධාන චෛත්‍ය පිහිටි කුඩා ගල් පර්වතයට නැගුණු විට සිව් දිගින් දක්‌නට ලැබෙන දර්ශන මනස්‌කාන්තය. බස්‌නාහිරින් පෙනෙන්නේ කතරගම කඳුවැටියයි. ගිනිකොන දෙස බලන විට කුඩා රාවණා සහ මහා රාවණා ප්‍රදීපාගාර පෙනේ. උතුරු දෙසින් හපුතලේ බණ්‌ඩාරවෙල කඳුවැටිය පෙනේ. ආකාර චෛත්‍යය, කොරවක්‌ගල් කන්ද යන ස්‌ථාන ද ඉතා පැහැදිලිව පෙනේ. මේ පින්බිම සිසාරා ඔබ්බට යන විට පාරිශුද්ධ වූ මහ රහතන් වහන්සේ වැඩ සිටි ගල්ලෙන් රාශියක්‌ හමු වේ. දිගින් අඩි 100 ක්‌ පමණ වූ පොහොය ගෙයක නටබුන් ද වර්තමාන සංඝාවාසය අසල දිස්‌වේ.



පුරාන ගල්ලෙන්


ක්‍රිස්‌තු පූර්ව තුන්වන ශත වර්ෂයේදී කාවන්තිස්‌ස රජතුමා විසින් කරවන ලද සිතුල්පව්ව විහාරයෙහි දෙළොස්‌දහසක්‌ භික්‍ෂු සංඝයා වැඩ සිටි බව වංශකතාවල සඳහන් වේ. කාවන්තිස්‌ස රජතුමා විසින් දාන ශාලා, ලැඟුම් ගෙවල්, උපෝෂථාගාර, වැව්, පොකුණු ආදිය තනවා මතු මත්තේදී මේ පින් බිම රැක ගත යුතු බවට නීති පනවා කාවන්තිස්‌ස රජතුමා විසින් දෙළොස්‌ දහසක්‌ මහ සඟරුවනට පූජා කොට ඇති බව මහාවංශයේ සඳහන් වේ.

සහස්‌සවත්ථූපකරණයේ සඳහන් පරිදි දුටුගැමුණු කුමරු එළාර රජු සමඟ සටනට එළඹීමට පෙර සිතුල්පව්ව විහාරයට ගොස්‌ එහි වැඩ වාසය කළ සුපේශල භික්‍ෂුන් වහන්සේට දන් පිළිගැන්වූ බවත්, ඉන් පසුව මාගමින් පිටත් වූ බවත් සඳහන් වේ. සිතුල්පව්ව විහාරයට ප්‍රවේශ වන ස්‌ථානයේ වම්පස ඇති සෙල්ලිපිය ලඡ්ජිතිස්‌ස රජු විසින් කරවන ලද බව කියෑවේ. ලඡ්ජිතිස්‌ස රජුගේ පියාණන් වූ සද්ධාතිස්‌ස රජු ද විහාරස්‌ථානයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදු කර ඇත. වළගම්බා රජ සමයේදී ක්‍රි. පූ. 78 දී පමණ බැමිණිටියා සාය නමින් සාගතයක්‌ විය. මේ කාලයේදී සිතුල්පව්වේ වැඩ වාසය කළ භික්‍ෂුන් වහන්සේ දොළොස්‌දහසක්‌ පමණ වූහ. තිස්‌සමහාරාමය ලෙස අද හැඳින්වෙන තිස්‌ස විහාරයේ ද එවැනිම වූ ප්‍රමාණයක්‌ භික්‍ෂුන් වහන්සේ වැඩ විසූහ. උන්වහන්සේට දානය සඳහා තිබූ වී මීයන් විසින් කා දැමූයෙන් සිතුල්පව්වේ භික්‍ෂූන් තිස්‌සට යන අතර ද තිස්‌ස භික්‍ෂූන් සිතුල්පව්වට යන අතරද ගිරිකන්දරා "ගම්භීරකන්ද" ස්‌ථානයේදී හමුවූහ. සිදුවී ඇති උවදුර ගැන දැන සියලුදෙනා වහන්සේ එහිදී පිරිනිවන් පෑ බව වංශ කථාවල සඳහන් වේ.




වළගම්බා රජු දමිළයන් සමඟ සටනට පෙර සිතුල්පව්ව අසල වූ ආකාර චෛත්‍යයට පූජාවක්‌ කළ බව වංශ කථාවල සඳහන් වේ. සිතුල්පව්වේ ඇති ගිරි ලිපියක ඉලනාග රජු ගැන සඳහන් වන්නේ "මහනක" යනුවෙනි. ඉලනාග රජු සිතුල්පව්වට ඉඩම් කැබලි පරිත්‍යාග කළේය. භාතිකාභය රජතුමා ද ක්‍රි. වර්ෂ 7 දී මෙහි ප්‍රතිසංස්‌කරණ කටයුතු කරමින් කුඩා පොකුණු කර වූ බව වංශකතාවල සඳහන් වේ. වර්තමාන සංඝාවාසයට නුදුරින් ඇති පොකුණ ඉන් එකකි. පළමුවැනි විජයබාහු රජ සිතුල්පව්වේ වැඩ වසන භික්‍ෂුන් වහන්සේට බෙහෙත් ද්‍රව්‍ය සැපයීමට ගම්වරයක්‌ පූජා කොට ඇති බව සිතුල්පව්වේ ඇති සෙල් ලිපියක සඳහන් වේ.

මෙසේ ක්‍රිස්‌තු පූර්වයේ සිට දෙවැනි පැරකුම්බා රජ සමය දක්‌වා රෝහණයේ අණසක පතුරුවාගෙන සිටි සියලුම රජවරුන් මේ සිතුල්පව්ව පින්බිමට විශාල මෙහෙයක්‌ කොට විහාරස්‌ථානයකට අවශ්‍ය සියලු අංගෝපාංග නිමවා පූජා කොට ඇත. පසුකාලීනව රටේ අභ්‍යන්තර වියවුල් සහ රුහුණු දේශයේ පිරිහීම හේතුවෙන් මහ රහතන් වහන්සේ වැඩ සිටි මේ පින්බිම වන සතුන්ගේ වාසභූමියක්‌ බවට පත්ව වනාන්තරගත විය.

අතීත රජදරුවන් ධනාත්මක සමාජ මෙහෙවරක්‌ සිතුල්පව්ව විහාරයට සිදුකොට ඇත. කාවන්තිස්‌ස රජතුමා මූලිකත්වය ගෙන ඉදිකරන ලද මහ සිතුල්පව්ව වෙහෙර පුරාවිද්‍යා දෙපාර්තම්න්තුව විසින් රියන් තිස්‌හතක්‌ උසට නිමවා ප්‍රතිසංස්‌කරණය කර ඇත. වර්තමාන සංඝාවාසයට ඉදිරියෙන් අඩි 400 ක්‌ පමණ උස්‌ වූ ගල් පර්වතයක්‌ මුදුනේ එය ඉදිකර ඇත.





ගූගල් සිතියම


සිතුල්පව්ව පින් බිමෙහි විහාරයට ප්‍රවේශ වන මාර්ගයේ පිහිටි වැවේ සොරොව්වෙහි ද ගල්කණු කිහිපයක්‌ ම ඇත. සිතුල්පව්ව කන්දේ නැඟෙනහිර බෑවුමෙහි ලෙන් විහාරය පිහිටා ඇත. ගල්ලෙනෙහි පියස්‌සේ දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාව සිත්තමට නඟා ඇත. කාවන්තිස්‌ස රජතුමා විසින් කර ඇති කුඩා සිතුල්පව්වේ අදටත් චෛත්‍ය දෙකක අඩිතාලමක්‌ දැකිය හැකිය. කුඩා සිතුල්පව්වට යන මාර්ගයේ ගලින් නෙළන ලද ඉතා පියකරු ගල් කූඩයක්‌ වේ. වසභ රජතුමා විසින් කරවන ලද ගල් කූඩය එකල රහතන් වහන්සේ ධර්ම සාකච්ඡා සඳහා යොදාගත් තැනකි. පධානඝරය, බෝධිඝරය, ගල් තොරණ ආදියෙන් සමන්විත වූ මේ පින්බිමෙහි සංඝයා වහන්සේ වාසස්‌ථාන සඳහා නිමකරන ලද ගල්ලෙන් විශාල ප්‍රමාණයක්‌ දැකිය හැකිය. භාවනානුයෝගී භික්‍ෂුන් සඳහා මෙම ගල්ලෙන් සාදා ඇත.




සිතුල්පව්ව පුද බිමට ළඟාවීමට පෙර හමුවන ස්‌ථානයකි මඟුල් මහා විහාරය. කාවන්තිස්‌ස රජතුමා සහ විහාරමහා දේවිය සරණ යැම නිමිති කරගෙන මඟුල් මහා විහාරය නිමවා ඇත. නටබුන්ව තිබුණු මෙම ස්‌ථානය අතීතය මතු කරමින් 2005 වර්ෂයේදී වර්තමාන විහාරාධිපතීන් වහන්සේ විසින් ප්‍රතිසංස්‌කරණය කර ඇත. නටබුන්ව තිබුණු මෙම ස්‌ථානය අතීතය මතු කරමින් 2005 වර්ෂයේදී වර්තමාන විහාරාධිපතීන් වහන්සේ විසින් ප්‍රතිසංස්‌කරණය කර ඇත.

සිතුල්පව්ව මූලික කරගෙන විවිධ පූජනීය ස්‌ථාන අපට හමු වේ. සීලවකන්ද කඳුවැටියේ ආරාමය, ගෝනගල ආරාමය, පිඹුරාගල අරාමය, ආකාසෙච්තිය, කෝටපබ්බත විහාරය නමින් සමහරකි. ඓතිහාසික වැදගත්කමක්‌ ඇති සියලුම රජ දරුවන්ගේ අවධානයට ලක්‌වූ මේ පින්බිම රුහුණේ පිරිහීමත් සමඟ වනාන්තරගත විය. වර්තමාන නවෝදය සනිටුහන් වූයේ විසිවැනි සියවස මුල් දශකවලදී ය.

වනගත වූ වැදගත් පුදබිමක්‌ ගැන පොතපත කියවා කරුණු හෙළිදරව් කරගත් ගාල්ල යටගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ කලහේ ශ්‍රී රතනජෝති ගුණරතනාභිධාන නායක ස්‌වාමීන් වහන්සේ නටබුන්ව ගිය සිතුල්පව්ව ශුද්ධ භූමිය සොයාගත්තේය.එවක පැවැති බ්‍රිතාන්‍ය රජයෙන් ද අවසර ලබාගෙන මේ පින්බිම එළිපෙහෙළි කොට පැරැණි ශ්‍රී විභූතිය නැවත ඇති කිරීමේ භාරදූර කාර්යයට මුල පිරුවේය.

එවක්‌ පටන් අද දක්‌වාම උණවටුනේ යටගල රජමහා විහාරය මෙම පුණ්‍යභූමියේ පැරැණි ශ්‍රී විභූතිය මතු කරමින් හෙළ බොදු සංස්‌කෘතියට අමරණීය සේවාවක්‌ සලසමින් සිටී.

1936 දී කලහේ ශ්‍රී රතනජෝති මාහිමිපාණන් අපවත් වූ පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය පූජ්‍ය ඉලුප්පිටියේ ජිනරතන මාහිමිපාණන් මාහැඟි සේවාවක්‌ ඉටුකොට ඇත. මේ හිමියන්ගේ කාලයේදී තිස්‌සමහාරාමයේ සිට සිතුල්පව්ව දක්‌වාත්, කතරගම සිට සිතුල්පව්ව දක්‌වාත් මාර්ගය යටගල රජමහා විහාරයේ දායකයන්ගේ ශ්‍රමයෙන් කිසිදු යන්ත්‍ර සූත්‍රයක්‌ භාවිතයෙන් තොරව නිම කර ඇත. හරිහැටි කුසට අහරක්‌ නැතිව වන සතුන්ගෙන් ගහන වූ මෙම භූමියෙන් අභීතව කරන ලද මඟ හෙළිකරගැනීමෙන් අනතුරුව ළිං කැප්පවීම, වැව් පොකුණු ශුද්ධ කිරීම් ද දායකයන්ගේ ශ්‍රමයෙන් කරවා ගති. ගල්ලෙකන් විහාර මන්දිරයේ සැතපෙන පිළිම වහන්සේ නෙළා අවසන් කිරීම ද උන්වහන්සේගේ කාලයේදී සිදුවිය.



ඉලුප්පිටියේ ජිනරතන නායක හිමියන් 1965 දී අපවත් වීමෙන් පසුව වත්තෙහේනේ පියරතන හිමියන්ට සිතුල්පව්ව සංවර්ධනය කිරීමේ කටයුතු බාර විය. ඉතාම අමාරුවෙන් එළිපෙහෙළි කරගත් කතරගම සිතුල්පව්ව මාර්ග දෙක වාර්ෂිකව ප්‍රතිසංස්‌කරණය කොට නඩත්තු කිරීමත්, යකඩ වැට ඉදිකිරීම, විහාර මළුව සැකසීම ආදී සංවර්ධනාත්මක කටයුතු නිම කරමින් අඩුපාඩුවක්‌ ව පැවැති සංඝාවාසය තැනීමේ කටයුත්ත ද ආරම්භ කළ පසුව 1976 දී හදිසි අනතුරකින් අපවත් වූහ. වත්තෙහේනේ පියරතන හිමියන්ගේ හදිසි අපවත්වීමෙන් පසුව යටගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ වත්තෙහේනේ රතනසාර හිමියන්ගේ අවවාද අනුශාසනා මත ශාස්‌ත්‍රපති උණවටුනේ රතනජෝති හිමියන් සිතුල්පව්ව සංවර්ධනය කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යන ලදී. සිතුල්පව්ව ශුද්ධ භූමිය වැඳ පුදා ගැනීමට එන පිරිස ක්‍රමයෙන් වැඩි වූයෙන් අත්‍යවශ්‍යව පැවැති විශ්‍රාම ශාලා, වැසිකිළි, ජල පහසුව ලබාදීම ආදී කටයුතු විධිමත්ව විවිධ ආයතන හා දායක කාරකාදීන්ගේ පූර්ණ අනුග්‍රහය ද ලබාගෙන ඉටු කරදීමේ හැකියාව උන්වහන්සේට ලැබිණි. 2002 වර්ෂයේදී උන්වහන්සේ අපවත් වූහ.


                                       දැනට  ඉතිරිව ඇති නටබුන්








Saturday, September 1, 2012

මදුනාගල උණුදිය පොකුණ....









 මදුනාගල උණුවතුර ලිං.......
ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරයන්ට මැදිව සූරියවැව නගරයට ආසන්නයේ පිහිටා ඇති සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙස මදුනාගල උණු දිය උල්පත් හැදින්විය හැකිය. ඇඹිලිපිටිය සිට පදලංගල හරහා සූරියවැව මාර්ගයේ හතරමං හංදිය නමින් හැදින්වෙන ස්ථානයෙන් හැරී කි.මී. 4 ක් පමණ ගමන් කල විට මෙම උණු දිය උල්පත් වෙත ලගාවිය හැකිය. එක් පසකින් මහ රහතන් වැඩ සිටි ඓතිහාසික මදුනාගල ආරන්‍ය
සේනාසනයත් අනෙක් පසින් පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා ඉපැරණී චිත්‍ර සොයාගත් කරඹගල වන රක්‍ෂිතයටත් මැදිව සුන්දර කුඹුරු යායක් මැද මෙම ස්ථානය පිහිටා ඇත. නූතනයේ දකුණූ පළාත් සංචාරක අමාත්‍යංශය විසින් සංචාරක ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් මෙම ස්ථානයට තවත් සංචාරක අංගයන් බොහොමයක් එක්කර තිබේ. ස්වාභාවික උණු දිය ස්නානය කිරීමේ පහසුකම යනු සංචාරකයන්ට ඉතා මහගු අවස්ථාවකි


   සංචාරකයන්ගේ ගමන් විඩාව දුරු කර ගනිමින් ඖෂධීය ගුණයන්ගෙන් සම්පූර්ණ වූ උණු දිය ස්නානය කිරීමේ පහසුකම් මෙම ස්ථානයේ ඇත. සීතල සුලං හමායන කුඹුරු යායක් මැද සිට, බොහෝ ඖෂධ ගුණයන්ගෙන් සපිරි ස්වාභාවික උණු දිය ස්නානය කිරීමේ පහසුකම යනු සංචාරකයන්ට ඉතා මහගු අවස්ථාවකි.


ප්‍රවේශ වන ස්ථානය නව සංචාරක ව්‍යාපෘතිය මගින් සකස් කිරීමෙන් පසුව



 

උණු දිය උල්පත් ඇතිවන ආකාරය
වර්ථමානයේ මෙම ස්ථානයේ ඇති උණු දිය උල්පත වටකොට ජල ටැංකි පහක් ඉදිකර ඇත. මෙම ජල ටැංකි පහේ උෂ්ණත්වය එකින් එකට වෙනස් වන ආකාරයට ඉදිකර ඇත. එනම්, උණු දිය උල්පත වටා බැදි ජල ටැංකිය වඩා වැඩිම උෂ්ණත්වයක් ඇති ජල ටැංකියයි. මෙහි ජලය තුළ උණුසුම නිසා දිය බුබුළු මතුවනු දැකිය හැකිය. එහි ජලය ටැංකියෙන් ටැංකියට ගලා යමින් ක්‍රමයෙන් උෂ්ණත්වය අඩු වන ආකාරයට සකස් කර ඇති අතර, සංචාරකයන්ට දිය නෑම සදහා එය විශාල පහසුවක් ගෙන දී ඇත.
කුරුළු උයනෙහි දර්ශනයක්
මෙම ස්ථානයෙහි කුරුළු උයනක්, මින් මැදුරක්, කෞතුකාගාරයක්, සංචාරක නැවතුම්පලක් මෙන්ම පළතුරු උයනක්ද ඉදිකර ඇත්තේ මෙම සංචාරක ගම්මාන සංවර්ධන වැඩපිළිවෙල යටතේය. මෙම කුරුළු උයන තුළ විවිධ ගිරවුන් වර්ග, තාරාවන්, පරවියන්, හාවුන්, කොබෙයියන් වර්ග මෙන්ම තවත් බොහෝ සතුන් වර්ගයන් සිටින අතර, මින් මැදුර තුළද විවිධ දුර්ලභ මත්ස්‍ය වර්ග ගනනාවක් ඇත.

කුරුළු උයන තුළ සිටින සතුන්ගෙන් කොටසක්

මෙම උණුදිය උල්පත් ජලයේ ඇති රසායන හා භෞතික ගුණයන් පහත පරිදි වේ.
භෞතික ගුණයන් (Physical Properties)
උෂ්ණත්වය (Temperature)                    40     CO
PH අගය (PH)                                         7.0
සන්නායකතාවය (Conductivity)            7.1      sm-1
ඝණ ද්‍රව්‍ය (Total Solids)                         5288     mg / l
රසායනික ගුණයන් (Chemical Properties)
Bicarbonate (බයිකාබනේට) (HCO)            20.1      mg / l
Chloride (ක්ලෝරයිඩ්) (Cl)                            2590     mg / l
Sulphate (සල්පේට) (SO4-2)                           138.4    mg / l
Nitrate (නයිට්‍රේට) (NO3-2)                              1.02      mg / l
Phosphate (පොස්පේට) (PO4-3)                   3.7      mg / l
Silica (සිලිකා) (SiO)                                          54.9      mg / l
Calcium (කැල්සියම්) (Ca)                               533.0    mg / l
Magnesium (මැග්නීසියම්) (Mg)                  4.80      mg / l
Sodium (සෝඩියම්) (Na)                                    1110.0  mg / l
Patassium (පොටෑසියම්) (K)                         22.6      mg / l
Lithium (ලිතියම්) (Li)                                       0.4        mg / l
Iron (යකඩ) (Fe)                                          0.03      mg / l
Zink (සින්ක්) (Zn)                                      0.01      mg / l
Lead (ඊයම්) (Pb)                                    0.08      mg / l
Cadium (කැඩියම්) (Cd)                                   0.01      mg / l
Florid (ෆ්ලෝරයිඩ්) (F)                                    1.6        mg / l
Sulfide (සල්ෆයිඩ්) (S-2)                                   40.15    mg / l
Manganese (මැංගනීස්) (Mn)                       0.04      mg / l
(මූලාශ්‍රය – භූ විද්‍යා දෙපාර්තමේන්තුව 2005)

සංචාරක උද්‍යානය තුළ දර්ශනයක්
උණුදිය උල්පත්හි අඩංගු වායූන්
Hydrogen (හයිඩ්‍රජන්) (H2)%                                     0.31
Oxygen (ඔක්සිජන්) (O2)%                                         0.77
Nitrogen (නයිට්‍රජන්) (N2)%                                       98.8
Carbon dioxide (කාබන්ඩයොක්සයිඩ්) (Co2)%       0.12
(මූලාශ්‍රය- ෆොන්සේකා ජී. එම්. 1998)

මාර්ගය දෙපස ඇති සුන්දර කුඹුරු යාය
මෙම සංචාරක උද්‍යානයක් ලෙස සංවර්ධනය කර ඇති උණූ දිය උල්පත් වෙත ලගා වීමට ඇති මාර්ගය දෙපස ඇති සුන්දර කුඹුරු යාය ගත සිත විඩාව දුරු කරන සුන්දර ආශ්වාදයක් සංචාරකයන්ට ලබා දේ. දකුණු ප්‍රදේශයේ සංචාරය කරන ඔබ නැරඹිය යුතුම ස්ථානයක් ලෙස මෙම මදුනාගල උණුදිය උල්පත් හැදින්විය හැකිය. මෙම සංචාරය තුළ ඔබට ආසන්නයෙන්ම නරඹිය හැකි ස්ථාන ලෙස ‍‍ඓතිහාසික මහානාග රාජධානිය පිහිටා තිබූ රම්භා විහාර පුරාවිද්‍යා රක්ෂිතය, මදුනාගල ආරණ්‍යය, කරඹගල ලෙන් ආදිය හැදින්විය හැකිය.


  මදුනාගල මෙන්ම ත්‍රිකුණාමලය නගරයට අයත් කින්නියා ප්‍රදේශයේද මෙවැනි උණුවතුර ලිං පිහිටා ඇත.ත්‍රිකුණාමලයට සංචාරය සදහා යන සංචාරකයන් බොහෝ දෙනා මෙම උණුවතුර ලිං නැරඹීමට අමතක කරන්නේ නැත. 
කින්නියා උණුවතුර ලිං




ගූගල් සිතියම




 මදුනාගල වනආරණ්‍ය සේනාසනය  


                 මදුනාගල යැයි කියුවිට  අපට එකවර  මතකයට නැගෙන්නේ  උණුදිය ළිංය. උණුදිය උල්පත් මෙන්ම වැදගත්වූ බෞද්ද  බැතිමතුන්ගේ නෙත් යොමුවිය යුතු ඓතිහාසික පුදබිමක්‌ ද මදුනාගල ඇත.

උණුදිය ළිං ඇති ප්‍රදේශයට ආසන්නව කොග්ගල්ල ගමට නුදුරුව වන රක්‌ෂිතයේ ඇති මෙම ඓතිහාසික ආරණ්‍ය සේනාසනය ආරම්භ කර ඇත්තේ බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය වතුරුවිල ශ්‍රී ඤාණානන්දාභිධාන වනවාසී මහනාහිමිපාණන් වහන්සේය. 1946 ජුනි මස 30 වැනිදා මෙම වනාන්තර ප්‍රදේශයට පැමිණි ගල්ලෙනක වාසය කරමින් මෙම ආරණ්‍ය ආරම්භ කර ඇත. මාහිමියන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ නැතිවී ගිය ආරණ්‍ය සම්ප්‍රදාය යළි ගොඩනැංවීමය. කළුගල ආරණ්‍ය සෙනසුනේ සිට මෙහි පැමිණි මාහිමියෝ ගිහිවාසයක්‌ නැති අලි කොටි වලසුන් සිටින මේ වනයේ ජීවත්වෙමින් අතිශයින් දුෂ්කර ජීවිතයක්‌ ගත කළහ.


වර්ෂ කීපයක්‌ ගතවනවිට මදුනාගල අංගසම්පූර්ණ ආරණ්‍යයක්‌ බවට පත්කරන්නට උන්වහන්සේ සමත්වූහ. උපෝසථාගාරය සහිත විහාර මන්දිරය තපෝවනය, නන්දවනය කඨාරම් කෙටූ පැරණි ගල්ලෙන් සහිත මෙම භූමි භාගය පෙර රහතුන් වහන්සේලා පාදස්‌පශ_ය ලැබූ පින්බිමක්‌ බවට ප්‍රකටය. පෞරාණික ගල් කටාරම්ද සෙනසුනේ තවමත් දක්‌නට ඇති බ්‍රාහ්මී අක්‌ෂර සහිත සෙල්ලිපි ඊට සාක්‌ෂි දරයි.

මදුනාගල ආරණ්‍ය සේනාසනය (උපුටාගැනීම http://www.nuwans.com)
 
මදුනාගල ආරණ්‍යයේ යෝගාවචර භික්‌ෂූන් වහන්සේලා 10 නමක්‌ මේ දිනවල වැඩ වාසය කරති. එහි නේවාසික අධිපති ධුරය දරනුයේ කුරුවිට අනුරුද්ධ ස්‌වාමීන්ද්‍රයන් වහන්සේය. මදුනාගල වන සෙනසුන වතුරවිල වනවාස සංඝ මූලස්‌ථානාධිපති අතිපූජ්‍ය මහකන්දේ රතනපාල අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ යටතේ පාලනය වේ. මෙහි ලෙන් රැසකි. ඒවායේ භික්‌ෂූන් වහන්සේලා වැඩ වාසය කරති.

මහානාග ලෙන, ඇතාලෙන, දියනාලෙන, පවංකර ලෙන, රක්‌ත ලෙන, පළමු ලෙන ආදී වශයෙන් ගල්ලෙන් හඳුන්වා තිබේ. මේ ලෙන්වලට නම් තබා ඇත්තේ කිසියම් ඓතිහාසික හේතූන් අනුවය. මේ ගැන කියන ලෙන්වාසී භික්‌ෂූන් වහන්සේලා ඇතාගලින් වැටුණ තැන ඇති ලෙන ඇතා ලෙන වශයෙන් හඳුන්වන බව කීහ. යෝගාචර වනවාසී භික්‌ෂූන් වහන්සේලාට දන් පිළිගැන්වීමට දිවයිනේ නන්දෙසින් පිරිස්‌ මෙහි පැමිණෙති. දන්දීමට නියමිත දිනට පෙර දින මදුනාගලට එන මේ බැතිමතුන්ට නැවතීමට ශාලා පහසුකම්ද තිබේ. නේවාසික කළමනාකරුවකු යටතේ කටයුතු සංවිධානය වේ. තපෝ භූමියේ සිට කි. මී. 2 ක්‌ පමණ දුරින් රක්‌ෂිත භූමියෙහිම පිණ්‌ඩපාත ශාලාව පිහිටා ඇත. දන්දීමට එන පිරිස පෙරදින ගිලන්පස, පසුදා උදේ දානය, දහවල් දානය පිරිනමා පිං ලබා ගනී. අවුරුද්දේ සෑම දිනකම දානය බාරගෙන ඇති බවත්, ආරණ්‍යයේ අවශ්‍යතා සඳහා දායකයන්ගෙන් උදව් කෙරන බව දැනගත හැකිවිය. පොහෝ දිනවලට සිල් සමාදන්වීමට විශාල වශයෙන් අය එති. රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙම ආරණ්‍යයේ අවශ්‍යතාවයන් ගැන සොයා බලා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ කඩිනමින්ම සංවර්ධනය විය යුතු පුණ්‍ය භූමියකි. තමන්ම සෝවාන් වූවා යයි කියමින් වැදිබණ කියන අයට වැඳ නමස්‌කාර කරන අය බහුල වශයෙන් සිටින යුගයක මදුනාගල වැනි ආරණ්‍යසේනාසනයක භාවනාවේ යෙදෙමින් බෞද්ධ ධර්මය, ප්‍රචලිත කරන යෝගාවචර භික්‌ෂූන් වහන්සේ දැකීමත් සහනයකි.

  

හම්බන්තොට  ආවම මදුනාගලත් යන්න අමතක කරන්න එපා....
ඔබේ අදහස ලියලම යන්න ....

කසාගල රජ මහා විහාරය...

කසාගල රජ මහා විහාරය...

 රන්න - වීරකැටිය මාර්ග‍යේ රන්න හන්දි‍යේ සිට කි.මී. 09ක් පමණ ගමන් කළ විට කසාගල විහාරයට ප්‍ර‍වේශ විය හැකි ය.

 


ඓතිහාසික වටිනාකමකින් අනූන වූ කසාගල රජමහා විහාරය පිහිටා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩයාය ග්‍රාමසේවා වසමේ ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇති මෙම විශේෂ පුණ්‍යභූමියේ ඓතිහාසික පුරාවෘත්තය දෙවනපෑතිස් රාජ්‍ය සමය දක්වා දුර අතීතයකට ඇදී යයි.
මඳක් උසට විහිදෙන සෙල් තලාවක් මත විහාරස්ථානය ගොඩ නංවා තිබේ. එය නෙතට පි‍්‍රය උපදවන චමත්කාර වූ දර්ශනයක් මවයි.
මෙම විහාර භූමියේ දැවැන්ත නොවූ මධ්‍යම ප්‍රමාණයේ චෛත්‍යයන් දෙකක් දක්නට ලැබීම ද විශේෂයකි. සෙල් තලාවක් මත ඉදි කර ඇති මුල් චෛත්‍ය කරවා ඇත්තේ දේවානම්පියතිස්ස රජතුමා විසින් බව කියැවේ. ඊට නුදුරින් ඇති අනෙක් චෛත්‍ය කරවන ලද්දේ සද්ධාතිස්ස (ක්‍රි.පූ. 119 – 137 ) රජතුමා විසිනි.
විහාර භූමිය ආවරණය වන ලෙස ඉදිකර ඇති ශෛලමය ප්‍රාකාරය දිගින් අඩි 236 ක් ද උස අඩි 5 1/2 ක් පමණ වෙයි. පුරාණයේ කසාගල රජමහා විහාරයට අක්කර දහසක නින්ද ගමක් පූජා කර තිබේ.
මෙම ස්ථානය දුටුගැමුණු කුමාරයා විසින් යුද පුහුණු කළ කඳවුරක් වශයෙන් භාවිතා කළ බව සඳහන් වෙයි. පසුකාලීනව රජවරුන් විසින් ගොඩනංවන ලද මාලිගයක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් (1747 – 1780 ) පිළිම ගෙයක් බවට පරිවර්තනය කරන ලදී.
ස්ථානයේ ඇති දෙවන ශත වර්ෂයට අයත් ශිලා ලේඛනය අනුව මෙහි පැරැණි නාමය ‘කවගල පබ්බත’ නම් වෙයි.

බුදු මැදුරේ ඇති නුවර යුගයේ සිතුවමක්
මනෝරථපූරණී ග්‍රන්ථයේ සඳහන්වන්නේ ‘කස්සකලෙන’ යනුවෙන්ය. එහි සඳහන් වන්නේ ‘මිත්ත’ නම් මහරහතන් වහන්සේ ‘කස්සක ලෙන’ වැඩ විසූ බවකි. විහාරභූමිය පුරා පෞරාණික ගොඩනැගිලි 21 ක පමණ නටබුන් විසිරී පවතියි. ජනප්‍රවාදය අනුව පැරැණි බුද්ධ මන්දිරය ඉදි කරවා ඇත්තේ මහානාග යුවරජු විසිනි.
මෙම විහාරය පළමුවන විජයබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරවූ බව ද කියැවෙයි. (ක්‍රි.ව. 1055-1100 )
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පිළිමගෙයක් බවට පරිවර්තනය කළ බුද්ධ මන්දිරයේ සිතුවම් කර ඇති චිත්‍ර හා නෙලා ඇති පිළිම මහනුවර සම්ප්‍රදායට අයත් වෙයි. ප්‍රවේශ මණ්ඩපය ප්‍රදර්ෂිණපථය සහ ගර්භ ගෘහය යන කොටස් තුනකින් විහාර මන්දිරය සමන්විත වී තිබේ.
මෙහි මහනුවර සම්ප්‍රදායේ බුදුපිළිම, ද්වාර පාලක පිළිම, ශ්‍රාවක පිළිම ආදී සිතුවම් නිර්මාණය කර ඇත. මහනුවර චිත්‍ර මූර්ති කලා සම්ප්‍රදායයේ දකුණු ගුරුකුලයට අයත් ශිල්පීන්ගේ අනගි ප්‍රකාශන ශක්තියේ ප්‍රතිභාව මෙම සිතුවම් සහ මූර්ති මතින් පිළිඹිබුවන බව ක්‍ෂේත්‍රයේ වියතුන්ගේ මතයයි.
දක්‍ෂිණ ශෛලිය හා සංක්‍රාන්තික ශෛලය යන විශේෂිත ශෛලීන් දෙකෙහි සිතුවම් හි ලක්‍ෂණ මෙහිදී දැක ගැනීමට ලැබීම ද විශේෂයක් සේ සැළකෙයි. ප්‍රවේශ මණ්ඩපයෙහි ඇති සිතුවම් මගින් බුදුසිරිත නිරූපනය කෙරෙන අතර, දක්‍ෂිණ සම්ප්‍රදායයේ සංක්‍රාන්තික සිතුවම් ශෛලිය නියෝජනය කරන මෙම සිතුවම්හි වර්ණ රේඛා හැඩතල භාවිතයට ගෙන ඇති ආකාරය අනුව චිත්‍ර ශිල්පය හදාරන්නන්ට මෙම ස්ථානයෙන් ලබා ගත හැකි දැනුම ඉතා වටිනා බව ද කියැවෙයි.
දෙවනපෑතිස් රාජ්‍ය සමය දක්වා දිවෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ සහ පැරැණි විහාරාංගයන් නිසා ඇති වූ පූජනීය වටිනාකම මෙන්ම සිතුවම් නිසා ඇති වූ බෞද්ධ කලා සම්ප්‍රදායයේ කලා ආකෘති කීපයක සම්බන්ධතාව මතින් පිළිබිඹු වන කලාත්මක වටිනාකම මෙන්ම සැබෑ බොදු පුදබිමක ඇති ආකර්ෂණීය සුන්දර පර්සරය සහිත වීරකැටිය, හකුරුවෙල, කසාගල රජමහා විහාරය මේ බිම ද සොභාවත් කරමින් දකුණුලක ඓතිහාසික බොදු උරුමය ද අභිමානවත් කරනා පෞරාණික පුදබිමකි.


           විතාරන්දෙණියේ විමලසිරි නායක හිමියන්ගේ සමයේ මෙම ඓතිහාසික කසාගල භූමි භාගයට අයත් අක්කර දහසකට අධික බිමෙන් අක්කර 117 ක් කසාගල ජන උදාන ගම්මාන පිහිටුවීමට රජයට ලබා දී ඇත. 1997 වර්ෂයේ කසාගල ජන උදාන ගම්මානය විහාරයට නොදුරු ගමක් ලෙස විවෘත වීමෙන් පසුව කසාගල විහාරස්ථානයට නව ආලෝකයක් ඇතිවිය. තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම කසාගල ඓතිහාසික විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කරන්නට එවකට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් මුල්ගල් තැබීම 1997 දී සිදු කරන ලදී. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහි ඇති මහනුවර යුගයට අයත් ධර්ම මණ්ඩපය සහිත ධර්ම ශාලාව පිළිසකර කරගෙන යනු ලබයි. පුරාවිදු පුදබිමක් ලෙස නම්කර ඇති මෙහි කළයුතු පිළිසකර කටයුතු බොහෝ ඇතත් තවමත් මේ සම්බන්ධ සුවිශේෂ අවධානය යොමු නොවීම නිසා මෙහි ඓතිහාසික ශ්‍රී විභූතිය දැක ගැනීම දුෂ්කර වී ඇත. 

 මෙම ස්ථානය ඉදිරිපස ඇති ගල් පුවරුවේ තරමක් විශාල වූ කුහර දෙකක් ඇත.එවක මෙහි සිටියායැයි කියන හස්තියා දණගසා මෙම විහාරයට වන්දනාමාන කිරීමේදී ඇති වූ එකක් බව ජනප්‍රවාදයේ කියවේ ....

කසාගල නුදුරු “රන්න” ග්‍රාමයට එම නාමය ලැබී ඇත්තේ ගිරිබණ්ඩශිවගේ දියණිය පාලි කුමරිය පණ්ඩුකාභය කුමාරයාට ඇඹුල බෙදූ ස්ථානය මුල් කොට ගෙන ය. මහා වංශයේ සඳහන් ලෙස පාලි කුමරිය පණ්ඩුකාභය කුමාරයාට ඇඹුල බෙදන්නට කඩාගත් නුගකොළ රන් පැහැවී ඇත.
                 එම නුගකොළ රන් පැහැ වූ නුග ගස පිහිටි ස්ථානය “රන්න” නම් වී ඇති බව ජනප්‍රවාදයේ එන්නේ ය. පණ්ඩුකාභය රුහුණේ සිට තම මාමාවරුන් හා සටන් කරන්නට යන ගමනේ දී කසාගල කඳවුරු ලාගත් බවද ජන වහරෙහි කියැවේ.











මෙහි දැක්වෙන්නේ  පුරාන මාලිගයේ දැනට ඉතිරිව ඇති නටබුන්ය


බිමට ජලය එක්රැස් කරතැබූ තාලියකි


අති පුජනිය දළදා වහන්සේ එවකදී තැන්පත් කර තිබු ස්ථානයක් ලෙස සොයාගෙන ඇත 






 
මෙම දෝලාව දුටුගැමුණු රජුගේ බිසව ගමන් බිමන් යාම සදහා යොදාගත් එකකි 




මෙහිතිබු මාලිගයේ දැනට ඉතිරිව ඇති නටබුන්ය
























මෙම බෝධීන් වහන්සේ ශ්‍රීමහා බෝධියේ මුල්ම ශාකාවකි








මෙය පුරාණයේ භික්ෂූන් භාවනානුයෝගීව වැඩසිටි ස්ථානයකි